සුඤ්ඤත වර්ගය
පහත තිබෙන සුත්‍ර දෙසනවා මත click කර සුත්‍ර දෙසනව ශ්‍රවණය කරන්න.ඔබට තෙරුවන් සරණයි!!!
මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල මිගාරමාතු පාසාද නම් ලත් පූර්වාරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැඟී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසක හුන්නේය. එකත් පසක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය.
මා විසින් මෙසේ අසනලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි, කිඹුල්වත් පුරයේ නිග්‍රොධාරාමයෙහි වැඩ වසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ, පා සිවුරු ගෙන කිඹුල්වත් පුරයට පිඬු පිණිස වැඩිසේක. කිඹුල්වත් පුරයෙහි පිඬු පිණිස හැසිර, බතින් පසු පිණ්ඩපාතයෙන් වැළකුණේ “කාලඛෙමක” නම් ශාක්‍යයාගේ විහාරය යම්තැනකද, එහි දවල් කාලයෙහි විසීම පිණිස වැඩිසේක. ඒ කාලයෙහි “කාලඛේමක ශාක්‍යයාගේ විහාරයෙහි පනවන ලද බොහෝ අසුන් වූහ. භාග්‍යවතුන් වහන්සේ කාලඛේමක ශාක්‍යයාගේ විහාරයෙහි පනවන ලද බොහෝ අසුන් දුටහ. දැක, භාග්‍යවතුන් වහන්සේට මේ අදහස විය. “කාලඛේමක” ශාක්‍යයාගේ විහාරයෙහි බොහෝ සෙනසුන් පනවන ලද්දාහුය. එහි බොහෝ භික්ෂූහු වාසය කෙරෙත්ය’යි කියායි.
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ජේතවන නම් අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි සවස්වරුවෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු උපස්ථාන ශාලාවෙහි රැස්ව හුන් බොහෝ භික්ෂූන්ගේ මේ අතුරු කථාව ඇතිවිය. ‘ඇවැත්නි, තථාගතයන් වහන්සේ මහත් ඍද්ධි ඇති බව, මහත් ආනුභාව ඇති බව ආශ්චර්‍ය්‍යය, පුදුමය. අතීතයෙහි පිරිනිවියාවූ සිඳිනලද තෘෂ්ණා, මාන, දෘෂ්ටි, ප්‍රපඤ්ච ඇති, සිඳිනලද කුසලාකුසල කර්ම වෘත්ත ඇති, කෙළවර කළ කුසලාකුසල කර්මයන් ඇති, සියලු විපාක වෘත්ත සංඛ්‍යාත දුක් ඉක්මවූ බුදුවරයන් තථාගතයන් වහන්සේ දැනගත්සේක. ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ජාති ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු නම් ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ගොත්‍ර ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සිල් ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සමාධි ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ප්‍රඥා ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විහරණ ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙසේ ක්ලෙශයන්ගෙන් මිදුණෝ වූහයිද කියායි.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ රජගහ නුවර සමීපයෙහිවූ, කලන්දකනිවාප නම්වූ වෙලුවනාරාමයෙහි වැඩ වෙසෙයි. එකල්හි, ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ පැරණි ගිහි යහලුවෙක්වූ අචේල කාශ්‍යපතෙම ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් යම් තැනකද, එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් සමග සතුටුවිය. සතුටුවියයුතු සිහිකටයුතු කථා කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ අචේල කාශ්‍යපතෙම ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් ගෙන් මෙසේ ඇසීය.
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන් වහන්සේ උදයකාලයෙහි හැඳ පාත්‍රා සිව්රු ගෙන ජයසේන රාජකුමාරයාගේ ගෘහය යම්තැනකද එහි පැමිණියේය. පැමිණ පනවනලද ආසනයෙහි හිඳ ගත්තේය. ඉක්බිති ජයසේන රාජකුමාරතෙම ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන් සමග සතුටුවිය. සතුටුවිය යුතු කථාකොට නිමවා එක්පසක හිඳ ගත්තේය. එක්පසක හිඳ ගත්තාවූ ජයසේන රාජකුමාරතෙම ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසීය. “පින්වත් භූමිජ ස්ථවිරයෙනි, මෙවැනි වාද ඇති මෙවැනි දෘෂ්ටි ඇති මහණ බමුණෝ ඇත්තාහ.
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු මහසිටුහුගේ අරමෙහි වැඩ වාසය කරණසේක. එකල්හි ‘පඤ්චකංග’ නම් වඩුතෙම එක්තරා පුරුෂයෙකුට කථාකළේය. “පින්වත් පුරුෂය, නුඹ මෙහි එව. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ යම් තැනකද, එහි යව. ගොස්, මගේ වචනයෙන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ගේ පාදයන් සිරසින් වඳුව. මෙසේද කියව, ‘ස්වාමීනි, ‘පඤ්චකංග’ වඩුතෙම ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ගේ පා සිරසින් වඳියි. මෙසේත් කියයි. ස්වාමීනි, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ හෙට පඤ්චකංග නම් වඩුවාගේ බත තමන් සතර වැනිව ඉවසනසේක්වා. ස්වාමීනි, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ කල් ඇතිව වඩිනු මැනවි. පඤ්චකංග වඩුතෙම රජුන් පිළිබඳ බොහෝ වැඩ ඇත්තේය. බොහෝ කටයුතු ඇත්තේය’ කියායි. පුරුෂතෙම “ස්වාමීනි, එසේයයි” කියා පඤ්චකංග වඩුවාට උත්තර දී ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය.
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහිවූ ඝෝෂිතාරාමයෙහි වැඩවාසය කරණ සේක. එකල්හි වනාහි කොසඹෑ නුවර භික්ෂූහු දබරකර ගනිමින්, කෝලාහල කරගනිමින්, වාදකර ගනිමින්, ඔවුනොවුන් වචන නමැති හුල්වලින් ඇනගනිමින් වාසය කරති. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ භික්ෂූව භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය. “ස්වාමීනි, මේ කොසඹෑ නුවර වැසි භික්ෂූහු දබරකර ගනිමින්, කෝලාහල කර ගනිමින්, වාදකර ගනිමින්, ඔවුනොවුන්, වචන නමැති හුල්වලින් ඇනගනිමින් වාසය කරති. “ස්වාමීනි, ඒ භික්ෂූහු යම් තැනකද එහි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට වැඩමවන්නේ නම් මැනවි” එය භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසා වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූහු යම් තැනකද එහි වැඩිසේක. වැඩ ඒ භික්ෂූන්ට මෙය වදාළ සේක. “මහණෙනි, නුසුදුසුය, දබර නොකරව්, කලහ නොකරව්, කෝලාහල නොකරව්, විරුද්ධ වාද නොකරව්,” කියායි.
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන් ඇමතූසේක. ඒ භික්ෂූහු ‘පින්වතුන් වහන්සැ’ යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, බාලයාගේ මේ බාල ලක්ෂණ, බාලයයි හැඳිනීමට කරුණු, බාලයාගේ චරිත තුනකි. ඒ තුන කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි බාලතෙම නපුරුකොට සිතන්නේත් වෙයි. නපුරුකොට කියන්නේත් වෙයි. නපුරුකොට කරන්නේත් වෙයි. මහණෙනි, ඉදින් බාලතෙම නපුරුකොට නොසිතන්නේ නම් නපුරුකොට නොකියන්නේ නම් නපුරුකොට නොකරන්නේ නම් කුමකින් ඔහු මේ භවත් අසත්පුරුෂයා බාලයෙකැයි පණ්ඩිතයෝ දැනගන්නාහුද? මහණෙනි, යම් හෙයකින් බාලතෙම නපුරුකොට සිතන්නේද, නපුරුකොට කියන්නේද, නපුරුකොට කරන්නේද, එහෙයින් ඔහු මේ භවත් අසත් පුරුෂයා බාලයෙකැයි පණ්ඩිතයෝ දැනගනිත්. මහණෙනි, ඒ මේ බාලයා මේ ආත්මභාවයෙහි තෙවැදෑරුම්වූ, දුක් දොම්නසක් විඳී. මහණෙනි, ඉදින් ඒ බාලයා සභාවක හෝ හුන්නේ වේද, වීථියෙක හුන්නේ වේද, සතර මංසන්ධියෙක හෝ හුන්නේවේද, එහි ජනයා ඒ වැරදිවලට සුදුසු, වැරදිවලට ගැලපෙන (පස්පවෙහි ආදීනව ආදි) කථා කරත්ද මහණෙනි, ඉදින් බාලතෙම ප්‍රාණඝාත කරන්නේ වේද, නුදුන් දෙය ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, ප්‍රමාදයට කරුණුවූ, මත්පැන් බොන්නේ වේද, මහණෙනි. එහිදී බාලයාහට මෙසේ අදහස් වෙයි ‘ජනයා යම් හෙයකින් ඒ වැරදිවලට සුදුසු, වැරදිවලට ගැලපෙන කථා කෙරෙයිද, ඒ වරද ස්වභාවයෝ මා තුළ ඇත්තාහුය. මමද ඒ ධර්මයන් දක්නා ලැබෙමි’ කියායි. මහණෙනි, බාල තෙම ඉහාත්මභාවයෙහි මේ පළමු දුක දොම්නස විඳී.
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, ජේතවන නම් අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි, භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට වදාළසේක. ඒ භික්ෂූහු ‘පින්වතුන් වහන්සැයි’ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.