එක නිපාතය

පහත තිබෙන සුත්‍ර දෙසනවා මත click කර සුත්‍ර දෙසනව ශ්‍රවණය කරන්න.ඔබට තෙරුවන් සරණයි!!!

1) ඉත්ථිරූප පරියාදාන සූත්‍රය.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි, ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:-
“මහණෙනි, යම්සේ ස්ත්‍රීරූපය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එබඳුවූ අනික් එකම රූපයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රීරූපය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී”
2) ඉත්ථිසද්ද පරියාදාන සූත්‍රය.
“මහණෙනි, යම්සේ ස්ත්‍රියගේ ශබ්දය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ශබ්දයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රියගේ ශබ්දය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී”
3) ඉත්ථිගන්ධ පරියාදාන සූත්‍රය.
“මහණෙනි, යම්සේ ස්ත්‍රියගේ ගන්ධය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ගන්ධයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රි ගන්ධය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.
4)ඉත්ථිරස පරියාදාන සූත්‍රය.
“මහණෙනි, යම්සේ ස්ත්‍රියගේ රසය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම රසයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රි රසය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.

කාමච්ඡන්දුප්පාද සූත්‍රය.
“මහණෙනි, යම් සුභ නිමිත්තක් (රාගය ඇති කරණ අරමුණක්) නිසා නූපන් කාම ආශාව උපදීද, උපන්නාවූ කාම ආශාව නැවත නැවත ඉපදීම හා විශාලලෙස රැස්වීම වන්නේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, රාගය ඇතිකරණ අරමුණ අනුවණින් වැරදිලෙස මෙණෙහි කරන්නා තුළ නූපන් කාමආශාවක් උපදී, උපන්නාවූ කාමආශාවෙහි බහුලභාවය හා විශාල භාවයත් ඇතිවන්නේය.”

“මහණෙනි, යම්සේ නොවඩනලද සිත කර්මයට යෝග්‍ය නොවේද, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ කර්මයට යොග්‍ය නොවේ.”

“මහණෙනි, යම්සේ සිත දමනය නොකරණ ලද්දේ මහත් අනර්ථය පිණිස පවතීද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත දමනය නොකරණ ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතී.”

“මහණෙනි, ඇල්වී නණ්ඩුවක් හෝ යවවී නණ්ඩුවක් හෝ වරදවා (තුඩ යටිකුරුකොට, නො ඇණෙනසේ) තබන ලදුව අතින් හෝ පයින් හෝ මඩනා ලද්දේ අත හෝ පය හෝ බිඳෙන්නේය. ලේ හෝ උපදවන්නේයයි ඒ කාරණය විද්‍යාමාන නොවේ. මක්නිසාදයත්, මහණෙනි, නණ්ඩුව (නො ඇණෙන ලෙස) වරදවා තබන ලද හෙයිනි.
“මහණෙනි, ඒ පරිද්දෙන් ම ඒකාන්තයෙන් යම් භික්ෂුවක් වරදවා තබන ලද සිතින් අවිද්‍යාව බිඳින්නේය. විද්‍යාව උපදවන්නේය. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන්නේයයි’ (කියතොත්) ඒ කාරණය ඇත්තක් නොවේ. මක්නිසාදයත්, මහණෙනි, සිත වරදවා යොදනලද හෙයිනි.

“මහණෙනි, මේ සිත ඉක්මනින් ආගන්තුකවූ (පසුව උපදිනා) රාගාදි කෙලෙසුන් විසින් කිලිටිකරණ ලද්දේය. ඒ සිත ධර්මය අසා පුරුදු නැති පෘථග්ජන තෙම තත්වූ පරිද්දෙන් නොදනී. එහෙයින් ධර්මය අසා පුරුදු නැති පෘථග්ජනයාහට සිතෙහි වැඩීමක් නැතැයි කියමි”

“මහණෙනි, යම් සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයක් හේතුකොටගෙණ නූපන් කුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තා තුළ නූපන් කුශලධර්මයෝත් උපදිත් උපන්නාවූ අකුශලධර්මයෝත් පිරිහෙත්.”

“මහණෙනි, යම් කල්‍යාණ මිත්‍රතාවක් (යහපත් මිතුරන් ඇතිබවක්) හේතුකොටගෙණ නූපන් කුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි මේ වැනිවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, කල්‍යාණමිත්‍රයන් ඇත්තාහට නූපන්නාවූ කුශලධර්මයෝත් උපදිත්, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්.”

“මහණෙනි, යසසෙහි (කීර්තියෙහි හා පිරිවරෙහි) යම් වැඩීමක් වේද, ඒ මේ වැඩීම සුලුවේ. මහණෙනි, වැඩීම් අතුරෙන් ප්‍රඥාවගේ යම් වැඩීමක් වේද මේ අග්‍රයි. මහණෙනි, එහෙයින් මෙහිදී මෙසේ හික්මිය යුතුයි. ‘ප්‍රඥාව වැඩීමෙන් වැඩෙන්නෙමුයි’ කියායි. මහණෙනි, තොප විසින් වනාහි මෙසේම හික්මිය යුතුය.”

පමාද සූත්‍රය
[1] “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ (ස්වකීය සන්තානයෙහි පිහිටි) කරුණු පිළිබඳව සලකනවිට
[2] “මහණෙනි, යම්සේ ප්‍රමාදය මහත් අනර්ථයට හේතුවේද,
[3] “මහණෙනි, ඒ බඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
[4] “මහණෙනි, ප්‍රමාදය මහත්වූ අනර්ථය පිණිප පවතී”