බ්‍රහ්මණ වර්ගය

පහත තිබෙන සුත්‍ර දෙසනවා මත click කර සුත්‍ර දෙසනව ශ්‍රවණය කරන්න.ඔබට තෙරුවන් සරණයි!!!

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ වෙදෙහ ජනපදයන්හි පන්සියයක් පමණ භික්ෂූන් සමග චාරිකාවෙහි හැසිරෙති. එකල්හි වනාහි ජරාවට ගියාවූ, මහලුවූ කාලය ගෙවීගියාවූ, වයසට පැමිණි උත්පත්තියෙන් එක්සිය විසි අවුරුදුවූ, නාමනිඝණ්ඩු ක්‍රියා කල්ප විකල්ප ශික්ෂා නිරුක්ති යන ප්‍රභෙදයන් ඇති ඉතිහාස පස්වැනි කොට ඇති තුන්වෙදයේ කෙළවරට ගියාවූ, පද හා ව්‍යාකරණ හදාරන්නාවූ ලොකායන ශාස්ත්‍රයේත් මහා පුරුෂ ලක්ෂන ශාස්ත්‍රයේත් දක්ෂවූ බ්‍රහ්මායුනම් බ්‍රාහ්මණයෙක් මියුලු නුවර වාසය කෙරෙයි. ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිව පන්සියයක් පමණ මහත් භික්ෂු සංඝයා සමග වෙදෙහ ජනපදයන්හි චාරිකාවෙහි හැසිරෙන්නාහුයි, බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ඇසීය. ‘ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේගේ වනාහි මෙසේ යහපත්වූ උස්ව පැන නැගි කීර්ති ශබ්ද ඇත්තේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කාරණයෙන්ද අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විදර්ශනා ඥානය ආදී ඥාන අටෙන්ද’ සීල සංවරය ආදී (චරණ) හසුරුවන ධර්ම පහළොවෙන්ද යුක්තයහ. යහපත් ගති ඇත්තාහ, සියලු ලොකයන් දන්නාහ, ශ්‍රෙෂ්ඨයහ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනි වූහ. දිව්‍ය මනුෂ්‍යයන්ට ගුරුවරයෙක්වූහ, බුද්ධයහ, භාග්‍යවත්හ, ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ මහණ බමුණන් සහිතවූ රජුන් හා මිනිසුන් සහිතවූ සත්ව වර්ගයා ඇතුළු සියලු ලොකය තමන් වහන්සේම මනාව පැහැදිලිකොට දැන ප්‍රකාශ කරණසේක්. උන්වහන්සේ මුල මැද අග යන තුන් තන්හි යහපත්වූ, අර්ථ සහිතවූ, දස ආකාරයෙන් නියම විදියට මවන ශබ්දකිරීම ඇත්තාවූ, සම්පූර්ණවූ පිරිසිදුවූ ධර්මය ප්‍රකාශ කරණසේක. එබඳුවූ රහතුන්ගේ දැකීමක් වේනම් ඒ යහපත්මැයි’ කියායි.

මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ එක් දහස් දෙසිය පනහක් පමණ මහත් භික්ෂු සංඝයා සමග අඩ්ගුත්තර ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙනසේක් ආපණ නම්වූ අඩ්ගුත්තර නියම් ගම යම් තැනකද, එහි කල් යැවූ සේක. කේණිය ජටිල තෙමේ ශාක්‍යපුත්‍රවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිව එක්දහස් දෙසියපනහක් පමණ මහත් භික්ෂු සංඝයා සමග අඩ්ගුත්තර ජනපදයෙහි චාරිකා කරන සේක් ආපණ නම් නියම් ගමට පැමිණි සේකැයි’ ඇසීය. ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේගේ මෙසේ යහපත්වූ කීර්ති ශබ්දයක් පැන නැංගේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණිනුදු අර්හත්හ. සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලොකවිදූහ, නිරුත්තරවූ පුරිෂ දම්මසාරථිහ, දෙවි මිනිසුන්ට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ, යනුයි. උන්වහන්සේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, මිනිසුන් සහිතවූ, සත්ව වර්ගයා ඇතුළු මේ ලොකය තමන් වහන්සේම මනාව දැන අවබොධ කොට ප්‍රකාශ කරණසේක. උන්වහන්සේ මුල මැද අග යන තුන් තන්හි යහපත්වූ අර්ථ සහිතවූ, (ව්‍යඤ්ජන සහිතවූ) දස වැදෑරුම් අක්ෂර සම්පත්තියෙන් යුක්තවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ ධර්මය දෙශනා කරණ සේක. පිරිසිදුවූ ශාසන බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරණසේක. එබඳුවූ රහතුන්ගේ දැකීමක්වේ නම් ඒ යහපත්මැයි කියායි.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවන ලද, දෙව්රම් වෙහෙර වැඩවාසය කරණ සේක. එසමයෙහි නොයෙක් රටවල බමුණන් අතුරෙන් පන්සියයක් පමණ බමුණෝ කිසියම් කටයුත්තක් සඳහා සැවැත් නුවර වාසය කරති. එකල ඒ බමුණන්ට මෙබඳු සිතක් පහල විය. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ චාතුර්වර්ණ ශුද්ධියක් පනවයි. ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචන ගැන විරුද්ධව සාකච්ඡා කිරීම සඳහා කවරෙක් සමර්ථද?

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේ බරණැස් නුවර ඛේමිය අඹවනයෙහි වාසයකරන සේක. එසමයෙහි කිසියම් කටයුත්තක් සඳහා ඝෝටමුඛ බ්‍රාහ්මණයා බරණැසට පැමිණියේය. ඉක්බිති ඝෝටමුඛ බ්‍රාහ්මණයා පයින් ගමන් කරන්නේ ඇවිදින්නේ ඛෙමිය අඹවනය යම් තැනකද එතැනට පැමිණියේය. එකල වනාහි ආයුෂ්මත් උදේන ස්ථවිර තෙමේ එළිමහනෙහි සක්මන් කරයි. ඉක්බිති ඒ ඝෝටමුඛ බ්‍රාහ්මණයා ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් උදේන ස්ථවිරයන් සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහිකටයුතුවූත් කථාව කොට නිමවා සක්මන් කරන්නාවූ ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේට සක්මන් කරමින් මෙසේ කීය. “එම්බා, ශ්‍රමණය, දැහැමි පැවිද්දක් නැත. මෙසේ මාගේ අදහසක් වෙයි. එය වනාහි එබඳු පින්වතුන් වහන්සේලාගේ නොදැකීමෙන් හෝ මේ පැවිද්දෙහි යම් ධර්මයක් නොදැකීමෙන් හෝ මේ පැවිද්දෙහි මාගේ මේ අදහස වෙයි.”

මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට චාරිකාවේ හැසිරෙන්නේ, මහත්වූ භික්ෂු සංඝයා සමග ඕපසාද නම් කෝසලයන්ගේ බමුණුගම යම් තැනෙකද එතැන හැසුරුණු සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ඕපසාද ගමට උතුරෙන් ඕපසාද ගමෙහි දේව වන නම්වූ සාල වනයෙහි වාසය කරණසේක. එසමයෙහි වනාහි චංකී බ්‍රාහ්මණයා මිනිසුන්ගෙන් හා සතුන්ගෙන් ගහනවූ, තණ දර හා දිය සහිතවූ, ධාන්‍ය සහිතවූ, රජුන්ගෙන් ලැබුණු පරිභොගයක්වූ පසේනදි කොසොල් රජු විසින් දෙන ලද්දක්වූ උතුම් කොට දෙන ලද්දක්වූ ඔපසාද නුවර වෙසෙයි. (එකල්හි) ඔපසාද ගමෙහි වාසය කරන්නාවූ බමුණු ගෘහපතියෝ (මෙපුවත) ඇසූහ. ශාක්‍ය පුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමග චාරිකාවෙහි හැසිරෙනසේක් ඕපසාද ගමට පැමිණ, ඕපසාදි ගිමට උතුරෙන් පිහිටි ඕපසාද ගමෙහි දේව වන නම්වූ සාලවනයෙහි වාසය කරණසේක.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුහු කරවූ ජෙතවන නම් ආරාමයෙහි වාසය කරණ සේක. එකල්හි එසුකාරී නම් බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතුවූද සිහි කටයුතුවූද කථාව කොට නිමවා පැත්තෙක හුන්නේය. පැත්තෙක උන්නාවූ එසුකාරී බ්‍රාහ්මණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාපයෙහිවූ “වෙළුවන” නම් විහාරයෙහි වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමග දක්ෂිණ ගිරි ජනපදයෙහි චාරිකාවේ හැසිරෙන සේක.

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානංගල නම් බමුණු ගමෙහි ඉච්ඡානංගල වනලැහැබෙහි වාසය කරන සේක. ඒ කාලයෙහි වනාහි ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි බ්‍රාහ්මණයෝ ඉච්ඡානංගල ජනපදයෙහි වාසය කරත්. ඔවුහු කවරේද? චංකීබ්‍රාහ්මණ තෙමේද, තාරක්ඛ බ්‍රාහ්මණතෙමේද, පොක්ඛරසාති බ්‍රාහ්මණ තෙමේද, ජානුස්සොණ බ්‍රාහ්මණ තෙමේද, තොදෙය්‍ය බ්‍රාහ්මණ තෙමේද, අන්‍යවූද ප්‍රසිද්ධ මහාසාර බ්‍රාහ්මණයෝ වෙති. එකල්හි පයින් ඔබමොබ සක්මන් කරන්නාවූ, ඇවිදින්නාවූ, වාසෙට්ඨ භාරද්වාජ යන තරුණයන් අතර මේ කථාව පහළවිය. “පින්වත, බ්‍රාහ්මණයෙක් වන්නේ කෙසේද කියායි” භාරද්වාජ තරුණයා මෙසේ කීය. “පින්වත, යම්හෙයින් මව්පිය දෙපසින් මැනවින් උපන්නේද, පිරිසිදු මව්කුසින් උපන්නේද, සත්වන පරපුර දක්වා ජාතිවාදයෙන් බැහැර නොකරණ ලද්දේද, නින්දානොකරණ ලද්දේද, පින්වත, මෙපමණකින්ම බමුණෙක් වෙයි” කියායි.

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේ පිඩු සිටුහු විසින් කරවූ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි තොදෙය්‍ය පුත්‍රවූ සුභමානවකයා එක්තරා ගෘහපතියෙකුගේ ගෙදර කිසියම් කටයුත්තක් සඳහා සැවැත් නුවර වාසය කරයි. එකල්හි තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා යම් ගෘහපතියෙකුගේ ගෙදර වසයිද, ඒ ගෘහපතියාට මෙසේ කීය. “ගෘහපතිය, සැවැත් නුවර රහතුන්ගෙන් හිස් නුවූයේයයි මා විසින් අසනලදී. අද කිනම් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහමණයෙකු හෝ ඇසුරු කරන්නෙමුදැයි”ඇසීය.

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසල ජනපදයෙහි මහත්වූ භික්ෂු සඩ්ඝයා සමග චාරිකාවෙහි හැසිරෙයි. එසමයෙහි වනාහි ධානඤ්ජානී නම් බැමිණිය බුදුන් කෙරෙහිද, ධර්මය කෙරෙහිද, සඩ්ඝයා කෙරෙහිද, ප්‍රසන්න වූවා මණ්ඩල කප්ප නම් ගමෙහි වාසය කරයි. එකල්හි ධානඤ්ජානි බැමිණිය ඇඳිරෙදි කොණේ පැටලී වැටෙන්නී ‘ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමි. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමි. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමියි’ තුන්වරක් ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කළාය.