භික්ෂු වර්ගය

පහත තිබෙන සුත්‍ර දෙසනවා මත click කර සුත්‍ර දෙසනව ශ්‍රවණය කරන්න.ඔබට තෙරුවන් සරණයි!!!

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කලන්දකනිවාප නම් වෙළුවන විහාරයෙහි වැඩ වාසය කළහ. එකල්හි ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් වහන්සේ අම්බලට්ඨිකාවෙහි (වේළුවනාරාමය අසල පිහිටි වඩා විවෙක ඇති ආවාසයක) වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගීසිට අම්බලට්ඨිකාව යම් තැනෙක්හිද ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් යම් තැනෙක්හිද එහි වැඩියහ. ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේ එන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුවේය. දැක ආසනයක් පැනවීය. පා සේදීමට දිය තැබීය. භාග්‍යවතුන් වහන්සේ පැමිණ පැනවූ අසුනෙහි වැඩහුන්හ. හිඳ පාදයන් සේදූහ. ආයුෂ්මත් රාහුල ස්ථවිරතෙමේද භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකපැත්තක හුන්නේය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු මහ සිටුහුගේ ජෙතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙණ සැවත් නුවරෙහි පිඬු පිණිස වැඩියහ. ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේද පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙණ භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් ගියේය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් දෙස හැරී බලා මෙසේ කීහ.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු මහ සිටුහුගේ ජෙතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි රහසිගතව සිත එකඟ කළ මාලුංක්‍ය පුත්‍ර තෙරුන් වහන්සේට සිත පිළිබඳ මෙබඳු කල්පනාවක් පහළ විය. (එනම්) ‘ලෝකය සදාකාලිකය කියාද, ලෝකය සදාකාලික නොවේය කියාද, ලෝකය කෙළවරක් ඇත්තේය කියාද, ලෝකය කෙළවරක් නැත්තේය කියාද, ඒ ජීවයම ඒ ශරීරයයි කියාද, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියාද, සත්වයා මරණින් පසු ඇතිවේය කියාද, සත්වයා මරණින් පසු ඇති නොවේය කියාද, සත්වයා මරණින් පසු ඇතිවේද ඇතිනොවේද කියාද, සත්වයා මරණින් පසු ඇතිනොවේය ඇති නොවන්නේත් නොවේය කියාද, භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලද, තබන ලද, ප්‍රතික්ෂෙප කරන ලද යම් මේ දෘෂ්ටීහු වෙත්ද, භාග්‍යවතුන් වහන්සේ මට ඒ දෘෂ්ටි ප්‍රකාශ නොකළහ. භාග්‍යවතුන් වහන්සේ මට යම් දෘෂ්ටි ප්‍රකාශ නොකළෝද මට එය රුචි නොවෙයි. මට එය ඉවසිය නොහැක. ඒ මම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් ඒ කාරණය විචාරන්නෙමි. ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය කියා හෝ, ලෝකය සදාකාලික නොවේය කියා හෝ, ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවයම ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය කියා හෝ ප්‍රකාශ කරන්නේ නම් එවිට මම භාග්‍යවතුන් වහන්සේ වෙත මහණකම් කරන්නෙමි.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර අනේපිඬු මහ සිටුහුගේ ජෙතවන නම්වූ ආරාමයෙහි වැස වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථාකළහ. “ස්වාමීනි”යි භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර අනේපිඬු මහ සිටුහුගේ ජේතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ “පින්වතුන් වහන්ස”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ අංගුත්තරාප නම් ජනපදයෙහි අංගුත්තරාප වැසියන්ගේ මහගමක්වූ ආපණ නම් ගමෙහි වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙණ ආපණ නම් ගමට වැඩියහ. ආපණ නම් ගමෙහි පිඩු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ එක්තරා වනලැහැබක් යම් තැනකද දවල් කාලයෙහි විසීම සඳහා එහි වැඩියහ. ඒ වනලැහැබට පැමිණ, එක්තරා රුකක් මුල දවල් වාසය පිණිස හුන්නේය. ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේද සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙණ පෙරවරු කාලයෙහි ආපණයෙහි පිඬුපිණිස පිවිසියේය. ආපණයෙහි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකී ඒ වනලැහැබ යම් තැනකද එහි දවල් වාසය පිණිස ගියේය. ඒ වනලැහැබට පැමිණ, එක් රුකක් මුල දවල් වාසය පිණිස හුන්නේය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චාතුමා නුවර නෙල්ලි වනයෙහි වාසය කළහ. එකල්හි වනාහි සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නුවරට පැමිණියාහු වෙත්. ඒ ආගන්තුක භික්ෂූහු නේවාසික භික්ෂූන් සමග සතුටු වෙමින් සෙනසුන් පනවන්නාහු පාසිවුරු තැන්පත් කර තබන්නාහු උස් ශබ්ද මහා ශබ්ද ඇත්තෝ වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට කථා කළහ. “ආනන්‍දය, මසුන් අල්ලන තැන කෙවුලන් මෙන් උස් ශබ්ද මහා ශබ්ද කරන්නෝ කවරහුද?” “ස්වාමීනි, මේ සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නගරයට පැමිණියාහුය. ඒ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් සමග සතුටු වන්නාහු, සෙනසුන් පනවන්නාහු, පා සිවුරු තැන්පත් කර තබන්නාහු, උස් ශබ්ද මහා ශබ්ද ඇත්තාහුය” යි (කීය.) “ආනන්‍දය, එසේනම් ’ශාස්තෲන් වහන්සේ ආයුෂ්මකුන් කැඳවති’ යි මාගේ වචනයෙන් ඒ භික්‍ෂූන් කැඳවව” “එසේය ස්වාමීනි” යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ භික්‍ෂූහු යම් තැනකද එහි පැමිණියේය. එහි පැමිණ, ’ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවති’ යි ඒ භික්‍ෂූන්ට කීය. ’එසේය ඇවැත්නි’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි පැමිණියාහුය. එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්නාහුය. එක් පසෙක හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය කීය. “මහණෙනි, කුමක් හෙයින් තොපි මසුන් අල්ලන තැන කෙවුලන් මෙන් උස් ශබ්ද මහත් ශබ්ද කරන්නහුද?” “ස්වාමීනි, මේ සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නගරයට පැමිණියාහුය. ඒ මේ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් සමග සතුටු වන්නාහු, සෙනසුන් පනවන්නාහු, පා සිවුරු තැන්පත් කර තබන්නාහු, උස් ශබ්ද මහා ශබ්ද ඇත්තාහුය” යි (කීහ.) “මහණෙනි, යව් තොප නෙරපමි. තොප මා වෙත නොවැසිය යුතුය” යි (වදාළහ). “එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට සෙනසුන් අකුලා තැන්පත්කර තබා පා සිවුරු ගෙන ගියාහුය.

මාගේ ඇසීම මෙසේය, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි නලකපාන නම් ගමේ කෑල (-එරබඳු) වනයෙහි වාසය කළහ. ඒ කාලයෙහි බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කුල පුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු වෙත්. ආයුෂ්මත් අනුරුද්ධ, ආයුෂ්මත් නන්දිය, ආයුෂ්මත් කිම්බිල, ආයුෂ්මත් භගු, ආයුෂ්මත් කුණ්ඩධාන, ආයුෂ්මත් රෙවත, ආයුෂ්මත් ආනන්ද (සහ) වෙනත් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කුල පුත්‍රයෝ වෙත්. ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් විසින් පිරිවරණ ලද්දේ හිස් තැනෙක වැඩහුන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ කුල පුත්‍රයන් අරබයා භික්ෂූන්ට කථාකොට, “මහණෙනි, යම් ඒ කුලපුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම, සස්නෙහි පැවිදි වූවාහුද, මහණෙනි, කිම ඒ භික්ෂූහු බ්‍රහ්මචර්යාවෙහි ඇලුනාහුද?” මෙසේ කීකල්හි ඒ භික්ෂූහු නිශ්ශබ්ද වූහ. දෙවෙනි වරත් භාග්‍යවතුන් වහන්සේ ඒ කුල පුත්‍රයන් අරබයා භික්ෂූන්ට, කථාකොට, “මහණෙනි, යම් ඒ කුල පුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහුද, මහණෙනි, කිම ඒ භික්ෂූහු බ්‍රහ්මචර්යාවෙහි ඇලුනාහුද” දෙවෙනි වරත් ඒ භික්ෂූහු නිශ්ශබ්ද වූහ. තුන්වෙනි වරත් භාග්‍යවතුන් වහන්සේ ඒ කුලපුත්‍රයන් උදෙසා භික්ෂූන්ට කථාකොට, “මහණෙනි, යම් ඒ කුලපුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූවාහුද මහණෙනි, කීම ඒ භික්ෂූහු බ්‍රහ්මචර්යාවෙහි ඇලුනාහුද? තුන් වන වරත් ඒ භික්ෂූහු නිශ්ශබ්ද වූහ.

මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වෙළුවනයෙහි කලන්දක නිවාප නම් තැන වාසය කළහ. ඒ කාලයෙහි වනාහි වනයෙහි වසන ගොරෝසු පැවතුම් ඇති ගුලිස්සානි භික්ෂුව කිසියම් කටයුත්තක් නිසා සඟ මැදට පැමිණියේ වෙයි. ඒ කාලයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ගුලිස්සානි භික්ෂුව අරභයා (-කරුණු කොට) භික්ෂූන්ට කථා කළහ.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂු සංඝයා සමග කසී ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙන්නෝය. එකල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථා කළහ. “මහණෙනි, මම රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරමි. ඒ රාත්‍රි භෝජනයෙන් වෙන්ව අනුභව කරන්නාවූ මම ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්වීමද, කාය බලයද, සැප විහරණයද ඇති බව දනිමි. මහණෙනි, තොපිද එව, රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරව්, රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරන්නාවූ තොපිද ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්වීමද, කායබලයද, සැපවිහරණයද දන්නාහුය.”