මහා වග්ගය (දුතියක භාගය)

පහත තිබෙන සුත්‍ර දෙසනවා මත click කර සුත්‍ර දෙසනව ශ්‍රවණය කරන්න.ඔබට තෙරුවන් සරණයි!!!

මේ මාගේ ඇසීමය-(මා විසින් මෙසේ අසනලදී,) එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු මහා සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වාසය කරති. එවිට පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් හැරී ඇවුත් කරෙරි (ලුණුවරණ ගස්වලින් වටවූ) මණ්ඩපය අසල විවේකගන්නා ශාලාවෙහි එක්ව උන්නාවූ රැස්වූ භික්ෂූන් අතරෙහි අතීත ආත්ම පිළිවෙළ මෙසේය. පෙරවිසූ ආත්ම මෙසේයයි භාග්‍යවතුන්වහන්සේගේ පෙරවිසූ ආත්ම දන්නාවූ ඥානය පිළිබඳ ධාර්මික කථාවක් උපන්නේය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ කුරුරට කම්මාසදම්‍ය නම්වූ කුරුරට වැස්සන්ගේ නියම්ගමක්වීද එහි වාසය කළෝය. එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙ කාරණය දැන්නුවේය. ස්වාමීන්වහන්ස, මේ (පටිච්ච සමුප්පාදය) හෙතු ඵල දෙශනාව පමණ ඉක්මවා ගැඹුරුවේද හෙවත් ඉතා ගැඹුරු වේද ගැඹුරු දැකුම් ඇත්තේ වේද ස්වාමීන් වහන්ස, ඒ කාරණය පුදුමයි. ස්වාමීන් වහන්ස, ඒ කාරණය ඉතා පුදුමයි. එසේ නමුත් මට නොගැඹුරුවූවක් මෙන් පහසුවූවක් මෙන් වැටහේයයි” දැන්නුවේය.

මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේය.) එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට නම් පර්වතයෙහි වාසය කරණසේක. ඒ කාලයෙහි මගධ රටට අධිපති වෙදෙහි නම් දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැ රට රජුන් යටත් කර ගැනීමට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි. ‘මම වනාහි මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ මේ වැදැ රජුන් නැති කර දමන්නෙමියි යනුයි.’

මා විසින් මෙසේ අසනලදී (මාගේ ඇසීම මෙසේය) එක්කලක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන නම්වූ මල්ල රජුන්ගේ සල්වනයෙහි සල්ගස් දෙකක් අතරෙහි පිරිනිවන්පාන කාලයෙහි වාසය කළෝය.
එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාදික නම් ගමෙහි ගිංජකාවසථ නම් විහාරයෙහි වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ නාදික ගම අවට අවට ජනපදයන්හි සමීප අතීත කාලයෙහි මැරුණාවූ උපාසකයන් පිළිබඳ උත්පත්ති ප්‍රකාශ කරන සේක. (කවර නම් අවට දනව්ද යත්) කාසි කොසල ජනපදද, වජ්ජි මල්ල ජනපදද, චෙතිය වංස ජනපදද, කුරු පංචාල ජනපදද, මච්ඡසූරසේන ජනපදද, වෙත්. අසවල් තැනැත්තා අසවල් තැන උපන්නේය. අසවල් තැනැත්තා අසවල් තැන උපන්නේය යනුවෙනි. සමීප අතීත කාලයෙහි මැරුණාවූ නාදික ගමෙහි විසූ ඔරම්භාගිය සංයෝජන (යට කාම ලෝකයෙහි බඳින බන්ධන) පස ක්ෂය කිරීමෙන් ඔපපාතිකවූ බඹලොව පිරිනිවන් පාන ස්වභාව ඇත්තාවූ ඒ ලෝකයෙන් නැවත එන ස්වභාව නැත්තාවූ උපාසකවරු පණසකට වැඩි වෙත්. ළඟ අතීත කාලයෙහි මැරුණ සංයෝජන (කෙලෙස් රැහැන්) තුනක් නැති කිරීමෙන් රාග ද්‍වෙෂ මෝහයන් තුනීකිරීම හේතු කොටගෙන සකෘදාගාමි වූවාහු මේ මිනිස් ලොවට එක් වරක් පමණක් අවුත් දුක් කෙළවර කරන්නාවූ නාදික ගම විසූ උපාසකවරු අනූවකට වැඩි වෙත්. ළඟ ඉකුත් කාලයේ මැරුණාවූ නාදික ගම් වැසි සංයෝජන (කෙලෙස් රැහැන්) තුනක් නැති කිරීමෙන් සෝවාන් ඵලයට පැමිණියාවූ (සතර) අපායට නොවැටෙන ස්වභාව ඇත්තාවූ අර්හත් ඵලයට නියතවූ උපාසකයෝ පන්සියයකට වැඩි වෙත්.

මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයෙහි වැඩ වසනසේක. ඉක්බිති පඤ්චශිඛ නම් ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා රාත්‍රියේ මධ්‍යම යාමයෙහි නොයෙක් පාටින් මුලු ගිජ්ජකූට පර්වතය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන්වහන්සේ හොඳින් වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ පඤ්චශිඛ ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවේය. “ස්වාමීන් වහන්ස, මා විසින් තව්තිසා වැසි දෙවියන්ගේ සම්මුඛයෙන් යමක් අසන ලද්දේද, පිළිගන්නා ලද්දේද, ස්වාමීන් වහන්ස, ඒ කාරණය භාග්‍යවතුන්වහන්සේට කියමියි’ දැන්වීය. ‘පඤ්චශිඛය, තෝ මට ඒ කාරණය දන්වවයි” භාග්‍යවතුන් වහන්සේ වදාළේය.

මාගේ ඇසීම මෙසේය: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහිවූ කිඹුල්වත්පුරය සමීපයෙහිවූ මහ වනයෙහි සියල්ලම රහත්වූ පන්සියයක් භික්ෂූන්ගෙන් යුක්තවූ මහත් භික්ෂූ සංඝයා සමග වාසය කරනසේක. දස දහසක් ලොක ධාතුවෙන්ද දෙවියෝ බුදුරජුන්ද භික්ෂු සංඝයාද දැකීම පිණිස බොහෝසෙයින් රැස්වූවෝ වෙත්.
ඉක්බිත්තෙන් ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි වසන්නාවූ බ්‍රහ්මයන් සතර දෙනෙකුන්ට මේ අදහස විය. “මේ භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයට ආසන්නවූ මහ වනයෙහි සියල්ල රහත්වූ පන්සියයක් භික්ෂූන්ගෙන් යුක්තවූ මහත් භික්ෂු සංඝයා හා වාසය කරති. දස දහසක් ලොක ධාතුවෙන්ද දෙවියෝ බුදුරජහුන්ද භික්ෂු සංඝයාද දැකීමට බොහෝසෙයින් රැස්වූවෝ වෙත්. අපිත් යම් හෙයිකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට පැමිණෙන්නෙමු නම් පැමිණ බුදුන් හමුයෙහි එකි එකී ගාථාවක් කියන්නෙමු නම් ඉතා යෙහෙකැයි” කියායි.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක මගධ ජනපදයෙහි රජගහ නුවරට බටහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කළෝය. ඒ කාලයේදී සක් දෙවිඳුට භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස උනන්දුවක් පහළවිය. සක් දෙවිඳුට මෙබඳු සිතක් ද විය.
“අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි නම් වැඩ වෙසෙත්ද?” යනුයි.

මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාසදම්‍ය නම්වූ කුරු රට වැස්සන්ගේ නියම් ගම වාසය කළාහුය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට, “මහණෙනියි” කථා කළෝය. භික්ෂුහු “ස්වාමින් වහන්ස,”යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළාහුය.

මා විසින් මේ සූත්‍රය මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත්වූ කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ භික්ෂූන් පන්සියයක් පමණවූ මහත් භික්ෂුසංඝයා සමග කොසොල් ජනපදයෙහි සැරිසරා වඩින සේක් කොසොල් ජනපද වාසීන්ගේ සෙතව්‍යා නම් නුවර යම් තැනකද එතැනට පැමිණියහ. එහි වූකලී ආයුෂ්මත් කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සෙතව්‍යා නම් නුවරට උතුරු දිශාවෙහිවූ ඇට්ටේරිය වනයෙහි වසන්නාහ.
ඒ කාලයෙහි පායාසි නම් රාජන්‍යයා (උප රජු) පසේනදි කොසොල් රජු විසින් දෙන ලද නොයෙක් සතුන්ගෙන් ගැවසී ගත්තාවූ, තණ, දර දිය හා ධාන්‍ය (වී ආදිය) සහිතවූ, රජු ගෙන් ලබනලද හෙයින් අනුභව කළයුතුවූ, රජුගේ තෑග්ගක්වූ උසස් වශයෙන් දෙනලද සෙතව්‍යා නම් නුවර අධිපතිව වසයි.