පරිබ්‍රාජක වර්ගය

පහත තිබෙන සුත්‍ර දෙසනවා මත click කර සුත්‍ර දෙසනව ශ්‍රවණය කරන්න.ඔබට තෙරුවන් සරණයි!!!

“මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලාමහනුවර මහවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වාසය කළහ. එකල්හි වනාහි වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම එකපුණ්ඩරීක නම්වූ පරිව්‍රාජකාරාමයෙහි වාසය කරයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳ පොරවා පා සිව්රු රැගෙණ විසාලා මහනුවර පිඬු පිණිස පැමිණියෝය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වාසය කළහ. එකල්හි වච්ඡගොත්ත නම් පරිව්‍රාජකතෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූම, වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය.

මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයෙහිවූ සූකරක්ඛත නම් ලෙණෙහි වාසය කළහ. එකල්හි දීඝ නඛ නම් පරිව්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පැත්තක සිටියේය. එක් පැත්තක සිටියාවූ දීඝනඛ නම් පරිව්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය.

මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුරුජනපදයෙහි කම්මාස්සදම්ම නම්වූ කුරුවැස්සන්ගේ නියම් ගමෙහි භාරද්වාජගොත්ත නම්වූ බ්‍රාහ්මණයාගේ ගිනිපුදන ශාලාවෙහි තණ ඇතිරියෙක්හි වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳ පොරවා පාත්‍රා සිව්රු රැගෙන කම්මාස්සදම්ම නම් ගමට පිණ්ඩපාතය පිණිස පැමිණියෝය. කම්මාස්සදම්ම නම් ගමෙහි පිඬු පිණිස හැසිර බතින් පසු කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ එක්තරා වන ලැහැබක් යම් තැනෙක්හිද දවල් වාසය පිණිස එතැනට පැමිණියෝය. ඒ වනලැහැබට ඇතුල්ව එක්තරා ගසක් මුල දවල් වාසය කිරීමෙන් වැඩහුන් සේක.

මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝොසිතාරාමයෙහි වාසය කළහ. එකල්හි වනාහි සන්දක නම් පරිව්‍රාජක තෙම පිලක්ඛ නම් ගුහායෙහි පන්සියයක් පමණවූ, මහත් පරිව්‍රාජක පිරිස සමග වාසය කරයි. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම සවස් වේලෙහි පලසමවතින් නැගී සිටියේ, භික්ෂූන්ට කථාකළහ. “ඇවැත්නි, යමු. දේවකටසොබ්භය (-වර්ෂාවෙන් සෑරුණු දියවිල) යම් තැනෙක්හිද එහි ගුහාව දැකීම පිණිස එළඹෙන්නෙමුයි”
“ඇවැත්නි, එසේයයි” ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට උත්තර දුන්හ.

“මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වාසය කළහ. එකල්හි වනාහි බොහෝවූ ප්‍රසිද්ධවූ ප්‍රසිද්ධවූ පරිව්‍රාජකයෝ මෝර නිවාප නම්වූ පරිව්‍රාජකරාමයෙහි වාසය කෙරෙති. එනම්, අනුගාරය, වරචරය සකුළුදායි පරිව්‍රාජකයාද අන්‍යවූ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ පරිව්‍රාජකයෝද, වෙත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රුගෙණ රජගහනුවරට පිණ්ඩපාතය පිණිස ඇතුළුවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් පහළවිය. ‘තවම රජගහනුවර පිඬු පිණිස හැසිරීමට ඉතා උදෑසනය. මම මෝර නිවාප නම් පරිව්‍රාජකාරාමය යම් තැනකද සකුළුදායි නම් පරිව්‍රාජකතෙම යම් තැනකද එතැනට පැමිණෙන්නෙම්නම් යෙහෙක,’ කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෝර නිවාප නම් පරිව්‍රාජකාරාමය යම් තැනකද එතැනට පැමිණුනහ

“මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු මහ සිටුහු විසින් කරවන ලද ජෙතවනාරාමයෙහි වැසූහ. එකල්හි වනාහි සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජක තෙමෙ ආගම් පිළිබඳ
කථා කරන්නාවූ තිඹිරි ගස්වලින් වටවූ හෙයින් තින්දුකාචීර නම්වූ මල්ලිකා දේවියගේ උයනෙහි කරවනලද හෙයින් මල්ලිකාරාම නම් එක සාලකනම් ශාලාවෙහි සත්සියයක් පමණවූ මහත් පරිව්‍රාජක පිරිසක් හා සමග වාසය කරයි. එකල්හි (ආයුධ පසක් ඇතිහෙයින්) පඤ්චකංග නම් වඩුතෙම දවල් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දැකීමට සැවැත්නුවරින් නික්මුනේය. ඉක්බිති පඤ්චකංග නම් වඩුහට මෙබඳු සිතක් වූයේය. තවම භාග්‍යවතුන් වහන්සේ දැකීමට සුදුසු කල් නොවේ. භාග්‍යවතුන් වහන්සේ පලසම යුක්තවූයේ වෙයි. සිත වැඩීමෙහි යෙදුනාවූ භික්ෂූන් වහන්සේලාගේ ද දැකීමට මෙය කාලය නොවෙයි. සිත දියුණු කරන්නාවූ භික්ෂුහුද ධ්‍යානයන්ට සමවැදී වාසය කරති. මම සමයප්පවාදක නම්වූද තින්දුකාවීර නම්වූද මල්ලිකාරාම නම් වූද එකසාලක නම් ශාලාව යම් තැනද සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජක තෙම යම් තැනද එතැනට පැමිණෙන්නෙම් නම් යෙහෙකැයි යනුයි. ඉක්බිති පඤ්චකංග නම් ථපති තෙම සමයප්පවාදකවූද තින්දුකාචීර නම්වූද මල්ලිකාරාම නම්වූද එකසාලක නම්වූ ශාලාව යම් තැනෙක්හිද සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජක තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. එකල්හි වනාහි සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජක තෙම උස්හඬ ඇත්තාවූ මහත්හඬ ඇත්තාවූ අනෙක ප්‍රකාර තිරිසන් කථා කියන්නා මහත්කොට ශබ්ද කරන්නාවූ මහත්වූ පරිව්‍රාජක පිරිස සමග හුන්නේ වෙයි. එනම් රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද්ධ පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, බීම් පිළිබඳ කථාය, වස්ත්‍ර පිළිබඳ කථාය, සයන පිළිබඳ කථාය, මාලා පිළිබඳ කථාය, සුවඳ පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය ගම් පිළිබඳ කථාය. මහගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, ජනපද පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, සූරයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, දිය ගෙනෙනතැන් පිළිබඳ කථාය, මියගියවුන් පිළිබඳ කථාය, නොයෙක් දේ පිළිබඳ කථාය, ලොකය පිළිබඳ කථාය, සමුද්‍රය පිළිබඳ කථාය, දියුණුව, පිළිබඳ කථාය හානිය පිළිබඳ කථාය යන කථායි. සමණමණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජකතෙම එන්නාවූ පඤ්චකංග නම් වඩුවා දුරදීම දුටුයේය. දැක ස්වකීය පිරිස තැන්පත් කෙළේය. ‘පින්වත්නි, නිශ්ශබ්ද වෙත්වා, පින්වත්නි, ශබ්ද නොකරව්, මේ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෙක්වූ පඤ්චකංග නම් වඩුතෙමේ එයි ශ්‍රමණ ගෞතමයන්ගේ ගිහිවූ සුදුවත් හඳින්නාවූ යම්තාක් ශ්‍රාවකයෝ සැවැත් නුවර වාසය කෙරෙත්ද, මේ පඤ්චකංග නම් ථපති තෙමේද ඔවුන්ගෙන් එක්තරා කෙනෙකි. ඒ ආයුෂ්මත්හු වනාහි ස්වල්ප ශබ්ද ඇත්තෝය. ස්වල්ප ශබ්ද ඇත්තවුන් විසින් හික්මවන ලද්දෝය. ස්වල්ප ශබ්ද ඇත්තවුන්ගේ ගුණ කියන්නෝය. ස්වල්ප ශබ්ද ඇති පිරිසකැයි සිතා මෙහි පැමිණීමට අදහස් කරන්නේ නම් මැනවයි” කියා පිරිස සන්සුන් කෙළේය. ඉක්බිති ඒ පරිව්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩ විසූහ.
එකල්හි වනාහි සකුළුදායී නම් පරිව්‍රාජක තෙම මෝරනිවාප නම්වූ පරිබ්‍රාජකාරාමයෙහි මහත්වූ පරිබ්‍රාජක පිරිස සමග වාසය කරයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳපෙරවා පාසිව්රු ගෙණ රජගහ නුවරට පිඬු පිණිස පැමිණියෝය. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් විය. තවම රජගහනුවරට පිඬුපිණිස පැමිණෙන්ට ඉතා උදෑසන වේ. ‘මම මෝරනිවාප නම් පරිබ්‍රාජකාරාමය යම් තැන තැනකද, සකුළුදායී නම් පරිව්‍රාජක තෙම යම් තැනකද එහි එළඹෙන්නෙම් නම් යෙහෙක, කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෝරනිවාප නම් පරිබ්‍රාජකාරාමය යම් තැනකද එතැනට පැමිණියෝය. එකල්හි වනාහි සකුළුදායී නම් පරිබ්‍රාජක තෙම උස්හඬින් හා මහත්වූ හඬින් ඝෝෂා කරමින් නොයෙක් තිරිසන් කථා කියන්නාවූ මහත් පරිබ්‍රාජක පිරිස සමග හුන්නේ වෙයි. එනම්, රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහ ඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද්ධ ගැන කථාය, ආහාර ගැන කථාය, බීම ගැන කථාය, වස්ත්‍ර ගැන කථාය, සයන ගැන කථාය, මාලා ගැන කථාය, ගන්ධ ගැන කථාය, නෑයන් ගැන කථාය, යානා ගැන කථාය, ගම් ගැන කථාය, මහගම් ගැන කථාය, නගර ගැන කථාය, ජනපද ගැන කථාය, ස්ත්‍රින් ගැන කථාය, සූරයන් ගැන කථාය. වීථි ගැන කථාය, දිය ගන්නා තැන් ගැන කථාය, මළවුන් ගැන කථාය. නොයෙක් නොයෙක් කථාය, ලොකය ගැන කථාය, සමුද්‍රය ගැන කථාය, පිරිහීම නොපිරිහීම ගැන කථාය යන මේයි. සකුළුදායී පරිව්‍රාජක තෙම දුරදීම එන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක තම පිරිස තැන්පත් කෙළේය. ‘පින්වත්නි නිශ්ශබ්ද වෙත්වා පින්වත්නි ශබ්ද නොකරව්. මේ ශ්‍රමණ ගෞතම තෙමේ එන්නේය. ඒ ආයුෂ්මත් තෙමේ වනාහි නිශ්ශබ්ද වීම කැමැත්තේ නිශ්ශබ්ද වූවහුගේ ගුණ කියන්නේ වේ. නිශ්ශබ්ද වු පිරිසක් බව දැන මෙහි පැමිණිය යුතුයයි හැඟෙන්නේනම් ඉතා යෙහකැයි,’ (පිරිස සන්සුන් කෙළේය.) ඉක්බිති ඒ පරිව්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ.

මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජෙතවන නම්වූ අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ විසූහ.
එකල්හි වේඛණස නම් පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූයේය. සතුටුවියයුතු සිහිකටයුතු කථාකොට නිමවා එකත් පසක සිටියේය. එකත් පසක සිටියාවූ වේඛණස නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ‘මෙය උතුම් වර්ණය වේයයි’, ප්‍රීති වාක්‍ය පැවැත්වූයේය.