පාථික වග්ගය(තතියක භාගය)

පහත තිබෙන සුත්‍ර දෙසනවා මත click කර සුත්‍ර දෙසනව ශ්‍රවණය කරන්න.ඔබට තෙරුවන් සරණයි!!!

මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙලෙසයි) එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මල්ලරට අනුපිය නම්වූ මල්ලරජුන්ගේ නියම් ගම වැඩවාසය කළෝය.
එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳපොරවා ගෙන පාත්‍රයද රැගෙන අනුපිය නම් නියම් ගමට පිඩු පිණිස පැමිණියෝය. එකල භාග්‍යවතුන්වහන්සේට මෙබඳු සිතෙක් පහළවිය, අනුපිය නම් නියම් ගමට පිඩු පිණිස යාම සඳහා තවකල් වැඩිය. (එබැවින්) මම භාර්ගවගොත්‍ර පිරිවැජියාගේ ආරාමය යම් තැනකද භාර්ගවගොත්‍ර පිරිවැජි තෙමේ යම් තැනෙක්හිද එහි පැමිණියෙම් නම් ඉතා යෙහෙකැයි’සිතීය.

මා විසින් මෙසේ අසනලදී. එක් කාලයෙක භාග්‍යවතුන්වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ ගිජුකුළු පව්වෙහි (ගිජ්ජකුට පර්වතයෙහි) වැඩ වාසය කළෝය. එකල්හි නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ (ශාසනයෙන් පිට මහණවූ අයෙක්) තුන් සියයක් පමණ මහත් පිරිවැජි පිරිසක් සමග උදුම්බරිකා දෙවියගේ පිරිවැජි ආරාමයෙහි වාසය කළේය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධරට මාතුලා නම් ගමෙහි වැඩවාසය කළාහුය. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන්ට කථාකළෝය. භික්ෂූන් වහන්සේලාද ‘ස්වාමීන් වහන්ස’ යයි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නෝය. භාග්‍යවතුන් වහන්සේ මේ මතු දැක්වෙන ධර්ම කොට්ඨාසය දේශනා කළහ.

මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ මිගාර මාතෘ ප්‍රාසාද නම් පූර්වාරාමයෙහි වැඩවසන්නාහ. එකල වාසෙට්ඨ, භාරද්වාජ නම් සාමණෙර දෙනම භික්ෂු භාවය බලාපොරොත්තුවෙමින් භික්ෂූන් සමීපයෙහි වෙසෙත්.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි විවේකයෙන් නැගී සිට ප්‍රාසාදයෙන් බැස (ඊට නැගෙනහිර දික්හි) පහයෙහි සෙවනැල්ල පවත්නා පසුභාගයෙහි අවකාශස්ථානයෙක සක්මන් කළහ.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලාන්දාවෙහි, පාවාරික අඹ උයනෙහි වැඩ වාසය කළාහුය. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ පැහැදුනෙමි. සම්බොධියෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා ශ්‍රෙෂ්ඨවූ අන්‍ය ශ්‍රමණයෙක් හෝ අන්‍ය බ්‍රාහ්මණයෙක් හෝ පෙර නොවීය. අනාගතයෙහිත් නොවන්නේය. දැන් ද නොවෙයි” යනුවෙනි.

මා විසින් මෙසේ අසනලදී. (නොහොත් මාගේ ඇසීම මෙසේයි). එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි දුනු ශිල්ප උගත් විදීම් ශාස්ත්‍රය දත් ශාක්‍යයෝ වූවාහුද ඔවුන්ගේ අඹ උයන තුළවූ ප්‍රාසාදයෙහි වැඩ වාසය කරති. එකල නිගණ්ඨනාත පුත්‍ර තෙමේ පාවා නම් නුවරෙහිදී නොබෝදිනකට පෙර මැරුණේය. ඔහුගේ මරණයෙන් පසු බිඳීගිය නිගණ්ඨයෝ කොටස් දෙකක් වූවාහු හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධ වාදයට පැමිණියාහු ඔවුනොවුන් අතර මුඛ නමැති ආයුධයන්ගෙන් විදිමින් වාසය කරන්නාහුය. ‘තෝ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි. කිම, තෝ මේ ධර්ම විනය දන්නෙහිද? තෝ වරදවා පිළිපදින්නෙහිය. මම මනාකොට පිළිපදින්නෙමි. මාගේ වචන අර්ථ සහිත වන්නේය. තාගේ වචන අර්ථ රහිත වන්නේය. පළමුව කියයුත්ත පසුව කීයේය. පසුව කියයුත්ත පළමුව කීයේය. තා විසින් පුරුදු කරන ලද්ද මාගේ වාදයට පැමිණ නැවතුනේය. තා විසින් වාදය නංවන ලද්දේය. තාගේ මත්තෙහි මා විසින් දොෂය නංවන ලද්දේය. බත් මුලක් රැගෙන ඒ ඒ අය කරා එළඹ වාදයෙන් මිදීම පිණිස උත්තර සොයමින් හැසිරෙව. ඉදින් හැකි වන්නෙහි නම් මා විසින් නගනලද දොෂයෙන් තමන් මුදා ගන්නෙහිය. නිගණ්ඨනාත පුත්‍රයන් කෙරෙහි එක් මරණයෙක් වන්නේයයි හඟිමියි,’ කියන්නාහුය. ගිහි වස්ත්‍ර හඳනා ලද අනුව පවත්නාවූ නිගණ්ඨනාථ පුත්‍රයාගේ යම්බඳු ගිහි ශ්‍රාවකයෝ වෙද්ද ඔව්හුද ඒ නිගණ්ඨනාථ පුත්‍ර ශ්‍රාවකයන් කෙරෙහි කලකිරුණු ස්වභාව ඇතිව නොඇලුණු ස්වභාව ඇතිව සත්කාර කිරීමාදියෙන්ද වැළකුණාහුය. නොමනාව ප්‍රකාශ කරන ලද්දාවූ නොමනා දැනීම් ඇත්තාවූ නිවනට නොපමුණුවන්නාවූ කෙලෙස් සංසිඳවීම පිණිස නොපවත්නාවූ සම්‍යක් සම්බුදු රජුන් විසින් දෙශනා නොකරන ලද්දාවූ ධර්ම විනයෙහි පිහිට බිඳීගියාවූ පිළිසරණක් නැත්තාහු යම්සේද එසේ වූහ.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද දෙව්රම් වෙහෙර වාසය කරන්නාහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළාහුය. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීවාහුය.

මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර (ලෙහෙනුන්ට වැටුප් දුන් හෙයින්) කලන්දකනිවාප නම්වූ, වෙළුවන වෙහෙරෙහි වාසය කළහ.
එකල සිගාලක නම් ගෘහපති පුත්‍ර තෙම කල් ඇතිවම නැගිට රජගහ නුවරින් පිටත්ව ගොස් තෙත්වූ ඇඳුම් ඇතුව තෙත්වූ හිසකෙස් ඇතුව ඇඳිලිබැඳගෙන නැගෙනහිර දිසාවය, දකුණු දිසාවය, බස්නාහිර දිසාවය, යට දිසාවය, උතුරු දිසාවය, උඩ දිසාවය යන බොහෝ දිසාවන් නමස්කාර කරන්නේය.

මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ ගිජ්ජකූට පර්වතයෙහි වැඩ වාසය කරති. එකල්හි සතර වරම් මහ රජදරුවෝ මහත්වූ යක්ෂ සේනාවෙන්ද, මහත්වූ ගාන්ධර්ව සේනාවෙන්ද, මහත්වූ කුම්භණ්ඩ සේනාවෙන්ද, මහත්වූ නාගසේනාවෙන්ද, සතර දිසාවෙහි ආරක්ෂා පිහිටුවා, සතර දිසාවෙහි බල සෙනග පිහිටුවා, සතර දිසාවෙහි රැකවල් ලවා, රාත්‍රියේ ප්‍රථම භාගය ඉක්ම ගිය කල්හි, (තමන්ගේ) ශරීර ආලොකයෙන් හාත්පස ගිජ්ජකූට පර්වතය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතන්හි පැමිණියා හුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳාකාර වැඳ එක පැත්තකින් හුන්නාහුය. ඒ යක්ෂයෝද සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූවාහුය. සතුටු විය යුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට දොහොත් මුදුන්දී වැඳ එක පැත්තකටවී හුන්නාහුය. සමහර කෙනෙක් නාම ගොත්‍රය කියා එක පැත්තක හුන්නාහුය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මල්‍යජනපදවල ගමන් කරනුයේ පන්සියයක් පමණවූ මහත් භික්ෂු සංඝයා සමග මල්‍යයන්ගේ පාවා නම් නුවර යම් තැනකද එතැනට පැමිණියෝය. එහි භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ අඹ උයනෙහි වාසය කරති.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පා නම් නුවර සමීපයෙහි වූ ගර්ගරා නම් පොකුණු තෙර අසළ පන්සියයක් පමණවූ මහත් භික්ෂු සංඝයා හා සමග වාසය කළාහුය. එකල්හි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙමේ “ඇවැත් මහණෙනි” කියා භික්ෂූන්ට කථාකළේය.
ඒ භික්ෂූන් වහන්සේලා “ආයුෂ්මතුන් වහන්සය”යි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙමේ මේ සූත්‍රය වදාළේය.
“සියලු දුක් කෙළවර කිරීමෙන් නිවන් ලැබීම පිණිස විෂම ලොභය ආදි සියලු බැමි සිඳින්නාවූ දසුත්තර ධර්මය හෙවත් කරුණු එකේ පටන් දසයදක්වා ඇති ධර්මය දෙශනා කරමි.