සීලක්ඛන්ධ වර්ගය

පහත තිබෙන සුත්‍ර දෙසනවා මත click කර සුත්‍ර දෙසනව ශ්‍රවණය කරන්න.ඔබට තෙරුවන් සරණයි!!!

මා විසින් මෙසේ අසනලදී. (නොහොත් මගේ ඇසීම මෙලෙසයි.) එක් කාලයකදී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහපාරට පන්සියයක් පමණවූ බොහෝ භික්ෂු සංඝයා හා සමග (වැඩියෝය.) පැමිණියෝය. සුප්පිය නම් පිරිවැජියාද (ශාසනයෙන් පිටත් පැවිද්දාද) බඹදත් නම් තරුණ අතවැසියා සමග රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහ පාරට පැමිණියේය. එහිදී සුප්පිය පිරිවැජියා නොයෙක් අයුරෙන් බුදුන් කෙරෙහි අගුණ කියයි. ධර්මය කෙරෙහි අගුණ කියයි. සංඝයා කෙරෙහි අගුණ කියයි. සුප්පිය නම් පිරිවැජියාගේ අතවැසියාවූ බඹදත් නම් මානවකයා නොයෙක් කරුණෙන් (ආකාරයෙන්) බුදුන්ගේ ගුණ කියයි, ධර්මයේ ගුණ කියයි, සංඝයාගේ ගුණ කියයි. මෙසේ මේ කරුණෙහි ඒ ඇදුරු-අතවැසි දෙදෙන ඔවුනොවුන් අතර සම්පූර්ණයෙන් විරුද්ධ කථා ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේගේද භික්ෂු සංඝයාගේද පසුපස්සේම ලුහුබැන්දෝය.

මාගේ ඇසීම මෙසේය. (මා විසින් මෙසේ අසන ලදී.) එක් කාලයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසල කොමාර භච්ච ජීවකයන්ගේ අඹවනෙහි මහා භික්ෂු සංඝයාවූ භික්ෂූන් එක්දහස් දෙසිය පනහක් සමග වාසය කෙළේය. ඒ කාලයේදී විදෙහදේවීගේ පුත්‍රයාවූ මගධ රට අජාසත් රජ එදවස් පැමිණි පසළොස්වක් පොහොය දවසේ හොඳාකාර පිපිනු සුදු පියුම් (කුමුදු) ඇත්තාවූ (අවුරුද්දේ) මාස හතරක් අවසානව මාසයන්ගේ පිරීම ඇත්තාවූ සම්පූර්ණ හඳ එලියෙන් බබලන රාත්‍රියෙහි රජ ඇමතියන් විසින් පිරිවරණ ලදුව උසස් මාලිගාවේ උඩුමහල් තලයට පැමිණ උන්නේය. එවිට විදේහදේවීගේ පුත්‍රයාවූ මගධ රජ අජාසත් රජ ඒ දවසේ පොහෝ දිනයෙහි මෙසේ ප්‍රිති වාක්‍යයක් ප්‍රකාශ කෙළේය.

මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේයි) එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණවූ මහා භික්ෂු සංඝයා වහන්සේ සමග කොසොල් රටෙහි ඇවිදීමෙන් හැසිරෙනසේක් කොසොල් රට වැස්සන්ගේ ඉච්ඡානංගල නම් බමුණුගම යම් තැනෙක්හිද එහි වැඩියේය. භාග්‍යවතුන් වහන්සේ එහි ඉච්ඡානංගල වනයෙහි වාසය කෙළේය,

මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණවූ මහත් භික්ෂු සංඝයාවහන්සේ සමග (අංග) අඟු රටෙහි හැසිරෙන කල චම්පා නුවරට වැඩියෝය. එහි භාග්‍යවතුන් වහන්සේ චම්පා නගරයෙහිවූ ගග්ගරා නම් පොකුණු තෙර වාසය කරති.
එකල සොණදණ්ඩ නම් බ්‍රාහ්මණයෙක් මගධ දෙශයෙහි රජවූ බිම්බිසාර මහරජතුමන් විසින් උසස් පරිත්‍යාගයක් ලෙස රජුගෙන් ලබන ලද්දාවූ, උතුම්කොට දෙනලද, බොහෝ පිරිවර ජනයාගෙන් හා ඇතුන් අශ්වයින් ආදී සත්වසමූහයාගෙන් ගැවසුනු, තණ, දර දිය බොහෝසේ ඇතිවූ ධාන්‍ය සම්පත්තීන් යුත් චම්පා නගරයෙහි ප්‍රධානියාව වාසය කළේය.

මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණවූ මහත් භික්ෂු සංඝයාවහන්සේ සමග මගධ දෙශයෙහි හැසිරෙන කල ඛාණුමත නම් බමුණු ගමට වැඩියෝය. එහි භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකා නම් උයනෙහි වාසය කරති.
එකල කූටදන්ත නම් බ්‍රාහ්මණයෙක් මගධ දෙශයෙහි රජවූ සේනිය (සේනා ඇති) බිම්බිසාර මහරජතුමන් විසින් උසස් පරිත්‍යාගයක් ලෙස උතුම්කොට දෙනලද, බොහෝ පිරිවර ජනයාගෙන් හා ඇතුන් අශ්වයන් ආදී සත්ත්ව සමූහයාගෙන් ගැවසුනු, තණ, දර, දිය බොහෝසේ ඇතිවූ ධාන්‍ය සම්පත්තීන් යුත් ඛාණුමත නම් බමුණු ගමෙහි ප්‍රධානියාව වාසය කරයි.

මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේයි) එක්කාලයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර අසල මහවනයෙහි පිහිටි කූටාගාර ශාලානම් විහාරයෙහි වාසය කළෝය. ඒ කාලයේදී කොසොල් රටවැසි බොහෝවූ බ්‍රාහ්මණ දූතයෝද, මගධ රටවැසි බ්‍රාහ්මණ දූතයෝද කිසියම් අවශ්‍ය කටයුත්තක් සඳහා විශාලා මහනුවර වාසය කරති. ඒ කොසොල් රටවැසි බ්‍රාහ්මණ දූතයෝද මගධරට වැසි බ්‍රාහ්මණ දූතයෝද මේ කරුණු ඇසුවෝය. එනම් ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණ භවත් ගෞතමයන්වහන්සේ ශාක්‍ය කුලයෙන් නික්ම මහණව විශාලාමහනුවර සමීපයේ මහාවනයෙහි කූටාගාර ශාලානම් විහාරෙහි වාසය කරති. ඒ භවත් ගෞතමයන් පිළිබඳව මෙසේ යහපත් කීර්ති ඝොෂාවක් උසස්ව නැංගේය. ඒ කෙසේද? අර්හත් සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනාඥානය ආදී විද්‍යා අට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පසළොස යන අෂ්ටවිද්‍යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් මාර්ගයෙහි ගමන්කළාවූ සියලුලෝකයන් දන්නාවූ, ශ්‍රෙෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ, (චතුරාර්ය සත්‍ය) සත්‍යවූ උතුම් ධර්ම සතර අවබොධකළාවූ ඒ තථාගතතෙමේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් හා මිනිසුන් සහිතවූ, සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැන පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ, දස ආකාරයෙන් නියම විදියට වචන ශබ්ද කරන්නාවූ ඛ්‍යඤ්ජන සහිතවූ, සියලු ලෙසින් සම්පූර්ණවූ පිරිසිදුවූ, බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති. එබඳුවූ රහතුන්ගේ දැකීම යහපත්ම වේයයි’ සිතුවෝය.

මා විසින් මෙසේ අසනලදී (මාගේ ඇසීම මෙසේය.) එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝොෂිතාරාමයෙහි වාසය කරණසේක. ඒ කාලයෙහිදී ‘මණ්ඩිස්ස’ නම් පරිබ්‍රාජක* තෙමේද දරුපත්තික නම් පරිබ්‍රාජකයෙකුගේ ශිෂ්‍යයෙක්වූ ජාලිය නම් පරිබ්‍රාජක තෙමේද යන දෙදෙන, භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාකොට එකපැත්තකටවී සිටියාහුය. එකපැත්තකටවී සිටි ඔවුන් දෙදෙන භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවාහුය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උජුඤ්ඤා නම් නුවර සමීපයෙහිවූ කණ්ණත්ථල මිගදාය නම්වූ තැනක වාසය කළහ. එකල කාශ්‍යප නම්වූ නිර්වස්ත්‍ර මහණෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූ සිහි කටයුතු කථාව අවසාන කර එකපැත්තකටවී සිටියේය. එකපැත්තකටවී සිටියාවූ නිර්වස්ත්‍ර පරිව්‍රාජක කාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.

මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේය.) එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඩු මහසිටාණන් විසින් කරවා පිළිගන්වන ලද දෙව්රම් වෙහෙර වාසය කළහ. එකල්හි පොට්ඨපාද නම් පරිබ්‍රාජක තෙම සමයප්පවාදක*’ නම්වූ (තිඹිරිගස් වලින් වටවූ) තින්දුකාචිර+ ‘එකසාලක’ නම්වූ මල්ලිකා ආරාමයෙහි තුන් දහසක් පරිබ්‍රාජකයන් ඇති මහත් පරිබ්‍රාජක පිරිස සමග වාසය කෙරෙයි.

“මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේය.) එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පා නොබෝකලක් වූ කල ආයුෂ්මත් ආනන්දතෙරුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඩු මහසිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරයි. එකල තොදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුත්‍රවූ සුභ තරුණයා යම් කටයුත්තක් සඳහා සැවැත් නුවර වාසය කෙරෙයි.

“මා විසින් මෙසේ අසන ලදී. (මාගේ ඇසීම මෙසේය) එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර සමීපයේවූ පාවාරික සිටාණන්ගේ අඹවනයේ වාසය කරනසේක. එවිට කේවට්ට තෙමේ භාග්‍යවතුන්වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්නේය. එක්පැත්තක උන්නාවූ ගෘහපතිපුත්‍ර කේවට්ට භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවේය.

මා විසින් මෙසේ අසන ලදී. (මාගේ ඇසීම මෙසේය.) එක් කලක භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් පන්සියයක් පමණවූ මහා භික්ෂු සංඝයා සමග කොසොල් රට ගමන් කරමින් වඩිනා කල සාලවතිකා නම් ගම යම් තැනකද එතැනට වැඩිසේක. එකල ලොහිච්ච බ්‍රාහ්මණතෙම ගව මහිසාදී බොහෝ සතුන් ඇත්තාවූ බොහෝ ලීදඬු, වැව්, පොකුණු ආදියෙන් යුක්තවූ. බොහෝ ධාන්‍ය සහිතවූ, රජුන් විසින් දෙන ලද්දාවූ, රජුගෙන් ලැබූ තෑග්ගවූ පසේනදී කොසොල් රජු විසින් දෙන ලද සාලවතිකා නම් ගම ප්‍රධානියාව වාසය කරයි.

මා විසින් මෙසේ අසන ලදී. (මාගේ ඇසීම මෙසේය) එක් කලක භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් භික්ෂූන්ගෙන් යුත් මහා භික්ෂු සංඝයා සමග කොසොල් රට ගමන් කරමින් එන අතර මනසාකට නම් කොසොල් රට වැසියන්ගේ බමුණු ගම යම් තැනකද එතනට පැමිණියෝය. එහි භාග්‍යවතුන් වහන්සේ මනසාකට බමුණු ගමට සමීපවූ උතුරු පැත්තෙහි අචිරවතී ගංගා ඉව්රෙහිවූ අඹවනයෙහි වාසය කරණ සේක.